Saturday, May 10, 2014

පාසල් වෙසක් සතිය මැයි 12 - 18

5:49 AM By Unknown No comments

ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 12 සිට 18 දින දක්වා කාලය "පාසල් වෙසක් සතිය" ලෙස නම් කර ඇත. මෙවර පාසල් වෙසක් සතියේ තේමාව "තෙමඟුල සමරමු- පිළිවෙත් සපුරමු" යන්නයි. ඊට සමගාමීව වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.ඒ අනුව සමස්ත දිවයිනේ සියලු බෞද්ධ දරු දැරියෝ ලබන 13 වැනි දින තම පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් සිල් සමාදන්වීමේ වැඩසටහන පවත්වනු ඇත.මෙවර වෙසක් සතියේ ප්‍රධාන තේමාවට අමතරව ඒ ඒ දින සඳහා වෙන් වූ තේමාවන් කිහිපයක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අනුව ලබන 12 දින "තෙමඟුල සමරමු" තේමාව යටතේ පාසල්, නිවාස, ආගමික හා පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන, වෙසක් සැරසිලි, වෙසක් සුබ පැතුම්පත් හා නිර්මාණ සැකසීම, ඒවා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ යුතුයි.13 වන දින "සාධු සබ්බත්ථ සංවරො" යන තේමාව ය‍ටතේ පාසලේ සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර 14 වන දින ප්‍රතිපත්ති පූජාවේ යෙදීම, ආසන්න විහාරස්ථානයේ සිල් සමාදන් වීම, වන්දනාමාන කිරීම, දන්සැල් පැවැත්වීම හා සැදැහැ ගී ප්‍රසංග පැවැත්වීම, පාසලේ බුදු මැඳුර ආලෝකමත් කිරීම හා වෙසක් කූඩු, වෙසක් පහන් දැල්වීම කළ යුතුය.ලබන 15 වන දින තේමාව වන්නේ "නරඹමු දැනුවත් වෙමු" යන්නයි. මෙදින සැදැහැ ගී ප්‍රසංග පැවැත්වීම, වෙසක් සැරසිලි ප්‍රදර්ශනය හා පහන් කූඩු දැල්වීම, සිද්ධස්ථාන නැරඹීම, වන්දනාමාන කිරීම කරනු ඇත.

ලබන 16දා "පරාර්ථකාමී ලෙස ක්‍රියා කරමු" යන්න තේමා කරගනිමින් සුබසාධන හා සමාජ සේවා කටයුතු (ගිලනුන්ට, අනාථ ළමුන්ට, වැඩිහිටියන්ට උවටැන් කිරීම, සත්ත්ව කරුණාව දැක්වීම, පුණ්‍ය ආයතන සඳහා පුණ්‍යාධාර ලබාදීම හා අනෙකුත් පුණ්‍ය කටයුතු) සිදු කරනු ඇත. 17 හා 18 දෙදින තේමාව වන්නේ "දැනුවත් වෙමු වන්දනා කරමු" යන්නයි. සිද්ධස්ථාන නැරඹීම, වන්දනා කිරීම මෙදින සිදු කෙරේ.තම පාසලට ගැළපෙන ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ. මෙම වෙසක් සතිය වැඩසටහන් පිළිබඳව ආචාර්ය මණ්ඩලය, සිසුන් හා දෙමාපියන් දැනුවත් කිරීම, මෙම සතිය තුළ පාසල් භූමිය බෞද්ධ ධජවලින් අලංකාරවත් කිරීම, ප්‍රධාන තේමා පාඨය යෙදූ බැනරයක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම, මෙම සතියේ සෑම දිනකම උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර විනාඩි 5ක කාලයක් තුළ ධර්මානුකූල කථාවක් පැවැත්වීම යන වැඩසටහන් සිදු කරනු ඇත. මේවා ක්‍රියාත්මක කිරීමේදී බෞද්ධ සිසුන් බහුතරයක් සිටින පාසල්වල හා වෙනත් ආගමික සිසුන් බහුතරයක් සිටින පාසල්වල සුදුසු පරිදි ක්‍රියාත්මක වීම විදුහල්පතිවරුන්ගේ වගකීම වන බව සඳහන් කරන ලේකම්වරයා මේ වැඩසටහනට සමගාමීව විද්‍යාපීඨ, ගුරු විදුහල්වල හා සෙසු ආයතනවල ද මෙවැනිම වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න