Tuesday, May 13, 2014

ජනාධිපතිතුමාගේ වෙසක් පොහොය දින පණිවිඩය


සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් මහා මංගල්‍යය මෙවරත් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප සමරන්නේ දැඩි ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුක්තවය.

වෙසක් මහා මංගල්‍යය බෞද්ධ අපගේත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේත් උතුම්ම පුණ්‍ය මහෝත්සවයයි. නිර්මල ථෙරවාදී බුදු දහම දිවි හිමියෙන් රැකගත් අපගේ හදවත් මේ වෙසක් සමයේ නිරාමිස ප්‍රීතියෙන් පිරී යන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිතියි යන උතුම් හැඟීමත් සමඟය.
සම්බුද්ධ දේශනාව ලොවට ඇති මහා ශාන්තියයි. ක්‍රෝධය හා වෛරය දුකට හේතු වන්නක් බවත් කරුණාව සහ මෛත්‍රීය සැනසීමේ මග බවත් සම්බුදු දහම ලොවට පසක් කොට තිබේ. ජාති, ආගම්, කුල ගොත් ආදී වූ සියලු බෙදීම් අර්ථ ශුන්‍ය යැයිද උස් පහත් බව මිනිය හැකි වන්නේ පුද්ගලයාගේ සරු නිසරු පිළිවෙතින්ම බවද සම්බුද්ධ දේශනාවය. තථාගතයන්වහන්සේ දෙසූ දහමට අනුව පිළිවෙත් සරු කරගත් අප අදත් සදාචාරවත් ජාතියක් ලෙස ලෝකයා හමුවේ අභිසෙස් ලබන්නේය.

න අත්ත හෙතු න පරස්ස හෙතු - න පුත්තම්චෙජ න ධනං න රට්ඨං
න ඉචෙඡ්‍ය අධම්මෙන සමද්ධිමත්තනො - ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

යම් නුවණැත්තෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ පවක් නොකරයිද, වැරදි පිළිවෙළකින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නොපතයිද අධර්මයෙන් තමාගේ වැඩි දියුණුවක් බලාපොරොත්තු නොවෙයිද ඔහු සිල්වතෙකි, බුද්ධිමතෙකි, ධාර්මිකයෙකි; යනුවෙන් සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. ලොව ශ්‍රේෂ්ඨතම දහමින් පෝෂණය වූ අප සමාජයේ අපේක්ෂාව ද ඒ සම්බුදු වදන ගරුකොට ගත්තකි. එබැවින් අන්‍යයන් කෙරෙහි වූ ස්වාධීනත්වයත් ගෞරවයත් රාජ්‍ය ප්‍රතිපත්තියේදී අප දැඩිව ආරක්ෂා කර තිබේ.

සම්බුද්ධ දේශනාව අනුව හැඩගැසුණු අප ජීවන අත්දැකීම වන්නේ සීයක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීර්යයයෙන් යුක්තව එක් දිනක් ජීවත්වීම අගනේය යන්නය. එබැවින් මේ වෙසක් සමයේ නොපමාව කුසල් රැස්කොට දෙලොවම දියුණුවට මග සලසා ගැනීමට අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

මහින්ද රාජපක්ෂ
ජනාධිපති

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න