Tuesday, May 13, 2014

වෙසක් පොහොය දින අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය

ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල ඉමහත් පූජනීයත්වයෙන් සමරන මේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සුභපැතුම් එක් කරන්නේ ඉමහත් භක්තියෙනි.

සමස්ත බෞද්ධයන් මහත් භක්තියෙන් අනුගමනය කරන ආගමික ඉගැන්වීමක් වන බෞද්ධ දර්ශනය, පොදු ජනයාගේ හිත සුව පිණිස යොදා ගත හැකි නිසි මාර්ගෝපදේශනයක් වන අතර, එය අමාමහ නිවන් අවබෝධ කරගත හැකි උපදේශනයක් ද වේ. දහස් ගණනින් බිලි පූජා කොට පුරාණ භාරතයේ සිදු කළ ආගමික ඉගැන්වීම් ජන හිත සුව නොවන බව මනාව පසක් කළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, අවිහිංසාව පදනම් කර ගත් නිවැරදි මාර්ගයක් මහජනයාට හඳුන්වා දුන් සේක.

අවිහිංසාවාදය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම, සමාධිය ඔස්සේ නිවන් අවබෝධ කර ගැනීම ආදී ලෝකෝත්තර කරුණු මිනිස් මනසට අවබෝධ කරදුන් ඒ මහා උත්තම පුරුෂයා ජාති, ආගම්, කුල භේදයෙන් තොරව සමස්ත ජන වර්ගයාට එක හා සමානව සැලකීම අප සියල්ලන්ටම උගත හැකි මනා ආදර්ශයකි.

ශාන්ති නායක තිලෝගුරු අමාමෑණී තථාගත සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අවිහිංසාවාදය පදනම් කරගත් උතුම් දර්ශනයක් වන නිසා ලෝ පුරා සමස්ත ජනයාගේ පිළිගැනීමට ලක් වූ දර්ශනයක් බවට බුදුදහම මේ වන විට පත්ව තිබේ. ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා සම්භාවනාවට ලක් වූ දර්ශනයක් බවට බුදු දහම පත්ව ඇතැයි මෙහිලා පවසන්නේ ඉමහත් සාඩම්බරයෙනි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනා ලෙස පසක් කොට සාමය, සතුට සහජීවනයෙන් සපිරි දේශයක සැමට ජීවත් වීමට හැකි වටපිටාවක් නිර්මාණය කළ අතිගරු ජනාධිපතිතුමන් යුද බිය වෙනුවට සැනසීම ළඟාකර දීමට සමත්ව සිටී. ඒ නිසාම ආමිස හා ප්‍රතිපත්ති ආදී පුණ්‍ය ක්‍රියාවන් හී නිරත වීමේ අවස්ථාව අපට උදාවී තිබේ.

ඉධ මොදති  පෙච්ච මොදති      -           කථ පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සො පමොදති       -           දිස්වා කම්ම විසුද්ධි මත්තනො

පිං කරන තැනැත්තා මෙලොව දී සතුටු වන්නා සේම, පරලොව දීත් ඔහුට සතුට හිමි වන්නේය.  තමා තුන් දොරින් කළ මහා පිං දැකීමෙන් සසර වසන තුරු සතුට විදින්නේය.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රඥාවෙන් අවබෝධ කර ගනිමින් පස්පවින් මිදුනු යහපත් සමාජයක් බිහි කිරීමට දායක වෙමු.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

ආචාර්ය දි.මු. ජයරත්න
අග්‍රාමාත්‍ය
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න