Friday, May 16, 2014

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි.

12:27 AM By Unknown No comments


අති බහුතර ජයක් හිමි කර ගනිමින් ඉන්දියාවේ මීළඟ අග‍්‍රාමාත්‍ය ධුරයට නරේන්ද්‍ර මෝඩි පත්වීම මේ වනවිට සහතික වී තිබෙනවා. එමෙන්ම, මෙවර මැතිවරණයෙන් තමන් ලැබූ පරාජය භාර ගන්නා බව කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රකාශ කළා. ආසන 543 කින් ආසන 331 ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති අතර, කොංග‍්‍රස් පක්ෂයට ආසන 62 ක පමණක් ඉදිරියෙන් පසුවීමට හැකිවී තිබෙනවා. මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි, කොංග‍්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස තරඟ වැදුණු රාහුල් ගාන්ධි, භාරතීය ජනතා පක්ෂයේ එල්.කේ. අද්වානි, රාජ්නාත් සිං සිය මැතිවරණ කොට්ඨාශ ජය ගැනීමට සමත්වුණා.  මේ අතර, තමිල්නාඩු ප‍්‍රාන්තයේ බහුතර බලය දිනා ගැනීමට මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් ඒ.ඞී.එම්.කේ පක්ෂයට හැකිවී තිබෙන අතර, ඔවුන් ආසන 36ක ඉදිරියෙන් පසුවන්නේ සමස්ත මහමැතිවරණයේ තුන්වැනි බලවේගය බවට පත්වෙමින්. එහෙත්, නරේන්ද්‍ර මෝඩිට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජයලලිතාගේ සහය අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.  මේ වනවිට නවදිල්ලි නුවර පිහිටි භාරතීය ජනතා පක්ෂ කාර්යාලයට රැස්ව සිටින ආධාරකරුවන් ජය සමරමින් ප‍්‍රීති ඝෝෂා පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, ඉන්දියාව පුරා භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් බෙර වාදනය කරමින් ලඞ්ඩු වැනි රසකැවිලි බෙදමින් ජය සමරන බව ද සඳහන්. කෙසේ වුවත්, පරාජය සම්බන්ධයෙන් කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධි අද පස්වරුවේ ප‍්‍රකාශයක් කිරීමට නියමිතයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න