Tuesday, May 13, 2014

දිවයින පුරා ලක්ෂ 20කට ආසන්න පාසල් දරුවෝ සිල් සමාදන් වෙති

දිවයින පුරා ලක්ෂ 20කට ආසන්න පාසල් දරුවෝ ස්වකීය පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් පැවති සිල් සමාදන්වීමේ වැඩසටහනට අද (13) එක්ව සිටියහ.

උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ජාතික හා පළාත් පාසල් සියල්ලේම පාහේ අද පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වෙසක් සතිය නිමිත්තෙන් සිල් සමාදන්වීමේ වැඩසටහන පැවැත්විණි. ඇතැම් පාසල්වල ප.ව. 1.30න් පසුව ද විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය යන පාසල්වල පැවති සිල් සමාදන්වීමේ වැඩසටහන් සඳහා කෙටි වේලාවක් සම්බන්ධ වී සිටියහ.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යතුමා ද තවත් පාසල් කිහිපයක පැවති සිල් සමාදන්වීමේ වැඩසටහන් නිරීක්ෂණය කළේය. නුගේගොඩ අනුලා විද්‍යාලය, නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යන පාසල් ඒ අතර වේ.

පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් ද පාසල් සිල් සමාදන්වීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසල්වල රැදී සිටියහ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 වෙසක් උත්සවය නිමිත්තෙන් පාසල්වල වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර වෙසක් සතිය ඊයේ (12) සිට ලබන 18 දක්වා ක්‍රියාත්මක කෙරේ.

"තෙමඟුල සමරමු- පිළිවෙත් සපුරමු" යන්න මෙවර වෙසක් උත්සවයේ ප්‍රධාන තේමාව වන අතර පාසල් වෙසක් සතිය පැවැත්වෙන එක් එක් දින සඳහා වෙන්වූ තේමා යටතේ වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න