Saturday, May 31, 2014

මිහින්තලා පුණ්‍ය භූමියට දෙමහල් ධර්ම ශාලාවක්

4:53 AM By Unknown No comments


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමියේ දෙමහල් ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා හෙට (01) මුල්ගල තැබේ. මේ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 1000කි.

මිහින්තලා පුණ්‍ය භූමියේ උඩමළුවේ පිහිටි ආරාධනා ගල පාමුල සේල චෛත්‍යයත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේත් අතර අඩි 165ක් දිගැතිව සහ අඩි 65ක් පළල වන පරිදි ගොඩනඟන මෙම දෙමහල් ධර්ම ශාලාව 2015 පොසොන් පොහෝ දින ජනාධිපතිතුමා විසින් සසුනට පූජා කිරීමට නියමිතය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද සැලැස්ම සහ අධීක්ෂණය යටතේ මෙය ඉදිකෙරේ.

ජනාධිපතිතුමාගේ දැනුම් දීම අනුව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්, සුබ නැකතින් මුල්ගල තැබීමට නියමිත බව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

මිස්සක පව්වට පැමිණෙන දහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ට නේවාසික පහසුකම් නොමැතිකමෙන් දාන ශීල භාවනා කටයුතු සිදු කිරීමට ඇති අපහසුතාවන් ද සැදැහැවතුන්ට අව්වෙන් වැස්සෙන් සිදු වන පීඩා පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම දෙමහල් ධර්ම ශාලාව ඉදිකිරීම සඳහා විශේෂ ව්‍යාපෘති යටතේ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී තිබේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න