Friday, May 16, 2014

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05කට ඉන්දියාවේ තහනම්

2:59 AM By Unknown No comments


ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් අවුරුදු 05ක් යනතුරු තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

1967 වර්ෂයේ ඉන්දියාවේ පනවන ලද නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් පසුගිය 14 වන දින සිට ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා තහනම් හා නීති විරෝධී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

1991 වසරේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ඉන්දියාව තුළ එම සංවිධානය ප්‍රථම වරට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. නැවත 2012 මැයි මාසයේදී එම තහනම දීර්ඝ කරනු ලැබීය. එම අවුරුද්දේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ බිහිවී තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආධාරකරුවන්, අනුගාමිකයන් හා නියෝජිතයන් ඉන්දියාවේද සිටින බවත් ඔවුන්ගේ අභිප්‍රාය වනුයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම බවත් සඳහන් කර තිබූ අතර එය නීති විරෝධී මෙන්ම ඉන්දියාවේ භෞමික ඒකාග්‍රතාවට ඉමහත් තර්ජනයක් වන බව ද සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකාව තුළ 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වීමෙන් පසුව පවා එකී සංවිධානය විසින් වෙනම ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ සංකල්පය අතහැර නැති බවත් ඔවුන් සතු අරමුදල් තවදුරටත් ලෝකයේ විවිධ රටවල්වල සිටින සිය ආධාරකරුවන් මාර්ගයෙන් තරකරමින් තවදුරටත් නීති විරෝධී ක්‍රියා සිදුකරමින් නැවත ක්‍රියාකිරීම ආරම්භ කර ඇති බවද පවසා ඇති මේ නිවේදනයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම විශේෂයෙන්ම ඉන්දියාවේ තමිල්නාඩුව තුළ සිටින ජනතාවගේ සහයෝගය ලබාගනිමින් හා විශ්වාසය දිනා ගනිමින් විවිධ ස්ථානයන්හි නීති විරෝධී ක්‍රියාවන් සිදුකරමින් එකී සංවිධානය නැවත බල ගැන්වීමට ක්‍රියාකරන බවද සඳහන් කර සිටී.

එසේම ලෝකයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් අන්තර්ජාලය හරහා එල්.ටී.ටී.ඊ. හිතවාදී විවිධ ලිපි ප්‍රචාරය කරමින් ඉන්දියාව තුළ සිටින සමහර දේශපාලන නායකයන්ගේද සහය ඇතිව ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාව තුළ ශ්‍රී ලංකාව විසින් එකී ත්‍රස්තවාදය තුරන් කිරීමේදී ඊට එරෙහිව ක්‍රියානොකිරීම පිළිබඳව ඉන්දියානු විරෝධී හැඟීම් ඇති වන ආකාරයේ ක්‍රියාදාමයක නිරත වී ඇති බවද මෙම නිවේදනය මඟින් සඳහන් කර ඇත. මෙම ක්‍රියාදාමය හේතුවෙන් ඉන්දියාවේ සිටින විශේෂිත පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න