Sunday, April 13, 2014

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමතිගෙන් නව වසරට සුබ පැතුම්

9:45 PM By Unknown No comments

ඔබට සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා! එලෙස එකිනෙකාට ආශිර්වාද ප්‍රකාශ කරගන්නා ප්‍රීතිමත් දින කීපය සිංහල අලුත් අවුරුද්දත් සමඟ උදාවේ.
මානව සිත් තුළට නවමු හැඟීම් ජනිත කරවන අවුරුදු සමය සමාජය නව පිබිදීමකට ලක්කරයි. හෙළ සිරිතට මුල්තැන දී අවුරුදු සමරන්නට ලක්වැසියන් එකමුතුවන්නේ නිරායාසයෙනි.
බිඳ වැටී ගිය සමාජ සබඳකම් නැවත ගොඩනැගීමට, නෑදෑ හිත මිතුරුකම් තව තවත් වැඩි දියුණු කිරීමටත්, වැඩිහිටියන්ට සැලකීම, වෙලාවට වැඩ කිරීමට හුරුවීම වැනි සමාජ සදාචාරාත්මක වටිනාකම් රැසක් හෙළ අවුරුදු සිරිත්හි ගැබ්ව තිබේ. චිරාත් කාලයක් ජනතාව අනුගමනය කළ මේ අවුරුදු චාරිත්‍ර විධි ශ්‍රී ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කිරීමට අනුබල දෙන අතරම සමාජයේ සාමය හා සදාචාරය තහවුරු කිරීමට ද හේතූ විය.

රාජ යුගයේ සිටම අවුරුදු උදාව නිමිතිකොට නැකතට මුල්තැන දෙමින් වතාවත් පිළිපදිමින් රජු සහ රට වැසියා එකම වෙලාවකට අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් ප්‍රකට කරන රටක එකමුතු බව හා සමානාත්මතාව ලොව වෙනත් සමාජයක දක්නට නොලැබෙන සාධනීය ලක්ෂණයකි. කිසිදු භේදයකින් තොරව ජාතික සමඟිය පිළිබිඹු කරමින් එකමුතුව අවුරුදු උදාව සමරන ශ්‍රී ලාංකීයන්ට තම මව්බිම ලොව සමෘද්ධිමත් රටක් බවට ගොඩනැගීම අසීරු නොවන්නකි. ඒ සඳහා ආකල්පමය වෙනසකට, මානසික පරිවර්තනයකට අවුරුදු උදාව හොඳ නිමිත්තකි.

සමස්ත ශ්‍රී ලාංකීයන් ම ජාතික හැඟීම් පෙරදැරිව අභිමානවත් සශ්‍රීක දේශයක් ගොඩනැගීමට නිර්මාණාත්මක චින්තනයෙන් එකමුතුව කටයුතු කරනු දැකීම අපගේ අලුත් අවුරුදු පැතුමයි.

ඔබ සැමගේ බලාපොරොත්තු සඵල වන සුබ අලුත් අවුරුද්දක් වේවා!

කෙහෙළිය රඹුක්වැල්ල
අමාත්‍ය 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති  අමාත්‍යංශය

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න