Sunday, April 13, 2014

අගමැතිගෙන් නව වසරට සුබපැතුම්

9:38 PM By Unknown No comments

සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය රැගෙන එන උදා වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුභපැතුම් එක් කරන්නේ හදපිරි සතුටිනි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි ගතවීම හුදු නව වසරක උදාවීම පමණක් නොව, එය සිංහල, හින්දු ඇතුළු සමස්ත ජනතාව අතර සහයෝගය උදාකරන ශක්තිමත් බැඳීමක් වශයෙන් හැඳින්විය හැකිය. නව කන්නයේ අස්වනු නෙළාගත් හෙළ වැසියන් දේශීය සංස්කෘතිය හා සිය අනන්‍යතාව මනාව පෙන්වමින් සාමූහිකව, එක් මොහොතක සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් සිංහල - හින්දු නව අවුරුදු උදාව සැමරීම ලොවටම පෙන්වන උතුම් වූ ආදර්ශයකි.

තිස් වසරක් තිස්සේ රට බියෙන් දවාලූ කිසිදා නිමා කළ නොහැකි යැයි සිතූ කුරිරු ත්‍රස්තවාදය සදහටම නිමා කිරීමට අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා අභීතව නායකත්වය සැපයීය. යුද්ධය නිමා කිරීමත් සමඟ රට ගෝලීය වශයෙන් සංවර්ධනය කිරීමේ යෝධ මාවතට අප මේ වන විට අවතීර්ණය වී තිබේ.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය වැඩසටහනට සමඟාමීව ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් අප රජය මගින් දියත් කර තිබෙන්නේ ගෝලීය වශයෙන් රට දියුණු මට්ටමකට රැගෙන ඒමටය. එමෙන්ම, ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ ජන කොට්ඨාසයක් මෙරටෙහි ජීවත් කරලීම සඳහා ද එය ඉවහල් වේ. අතීත රජ දරුවන් වසර ගණනාවක සිට කරන ලද දැවැන්ත ව්‍යාපෘති හා සමාන සංවර්ධන කාර්යභාරයක්, ගත වූ වසර කිහිපයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දියත් කර තිබේ.

යහපත් ප්‍රාර්ථනා, යහපත් සිරිත් විරිත් සහ සමාජීය හා සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් උදාවූ නව වසර පිළිබඳව නැවුම් බලාපොරොත්තු සඵල කර ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලාංකීය ඔබට උදාවී තිබේ.
ඒ භාග්‍යවන්ත අනාගතය උදෙසා මුවට හසරැල් නැංවෙන නැවුම් දිනය අදයි.  උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ නව වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි. සැමට සුභ අනාගතයක්.

ආචාර්ය දි.මු. ජයරත්න
අග්‍රාමාත්‍ය
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න